සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ඉල්ලුම් කරන්නේ, මුදල් වටිනාකමේ සන්නිධියක් හෙවත් වටිනාකම රැස්කිරීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කරන නිසා ය.
මෙය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ ජෝන් මේනාඩ් කේන්ස් විසිනි. ඒ 1936 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ඔහුගේ “සේවා නියුක්තිය පොළිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය” නැමැති කෘතියෙනි.
මිනිසුන් තම ධනය මුදල් ලෙස හෝ මුදල් නොවන වත්කම් (පිළිනපත්) ලෙස තබා ගනී.
සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම යනුවෙන් අදහස් කරන්නේ, පිළිනපත්වල මුදල් ආයෝජනය කිරීමෙන් අනාගත ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මුදල් ශේෂ ලඟ තබා ගැනීම යි.
සමපේක්ෂණ මුදල් ඉල්ලුම පොළී අනුපාතිකය අනුව තීරණය වේ. සමපේක්ෂණ මුදල් ඉල්ලුම හා පොළී අනුපාතිකය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි.
එලෙස අනුලෝම සම්බන්ධතාවයක් පැවැත්වීමට හේතුව ආකාර දෙකකට විස්තර කළ හැක.
- මුදල් හා පිළිනපත් අතර තේරීම
- මුදලේ ආවස්ථික පිරිවැය
මින් වඩා වැදගත් වන්නේ පළමුවැන්න බැවින්, එය ප්‍රථමයෙන් පහත වගුව ආධාරයෙන් පැහැදිලි කරගමු.

මුදල් හා පිළිනපත් අතර තේරීම් කිරීමේ දී, අනාගත පොළී අනුපාතිකයේ අපේක්ෂිත වෙනස පිළිබඳ ව සලකනු ලබයි.
එමෙන් ම පොළී අනුපාතිකය හා පිළිනපත් මිල අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් බව මතක තබා ගන්න. (පොළී අනුපාතිකය 5%, 10%, 15% ලෙස වැඩිවන විට පිළිනපත් මිල 952, 909, 869 ලෙස අඩු වේ)
වර්තමානයේ පොළී අනුපාතිකය පහළ මට්ටමක (5%) පවතිද්දී, අනාගතයේ දී පොළී අනුපාතිකය ඉහළ යතැයි (15%) අපේක්ෂා කරයි නම්, ඒ සමග ම අපේක්ෂා කරනුයේ පිළිනපත් මිල අඩු වෙතැයි (952 සිට 869 දක්වා) කියා ය.
මෙහි දී ධනය පිළිනපත් ලෙස තබා ගැනීම අවදානම් සහිත බැවින්, පිළිනපත් විකුණනු ලබයි. එනම් මුදල් ශේෂ ඉල්ලුම වැඩි වේ.
වර්තමානයේ ඉහළ පොළියක් (15%) පවතී නම්, අපේක්ෂා කරනුයේ අනාගතයේ පොළි අනුපාතිකය පහළ වැටී (5%) පිළිනපත් මිල ඉහළ (869 සිට 962 දක්වා) යතැයි කියා ය. එහි දී අඩු මිලකට පිළිනපත් ගෙන වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් පිළිනපත් මිල දී ගනී. එහි දී මුදල් ඉල්ලුම අඩු වේ.

ඉහත ප්‍රස්තාර සටහනේ තිරස් අක්ෂයෙන් සමපේක්ෂණ මුදල් ඉල්ලුම ද, සිරස් අක්ෂයෙන් පොළී අනුපාතිකය ද නිරූපණය කරයි.
වක්‍රය වමේ සිට දකුණට පහළට ගමන් කර ඇත්තේ පොළී අනුපාතිකය හා සමපේක්ෂණ මුදල් ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින නිසා ය.
වර්තමානයේ r1 වැනි පහළ පොළී අනුපාතිකයක් පවතී නම්, මිනිසුන් අපේක්ෂා කරනුයේ අනාගතයේ පොළී අනුපාතිකය r3 දක්වා ඉහළ යතැයි, ඒ සමග ම පිළිනපත් මිල පහළ යතැයි කියා ය.
පිළිනපත් මිල පහළ ගියහොත් අවාසිදායක වන බැවින්, දැන් පවතින ඉහළ මිලට පිළිනපත් විකිණිමට සමපේක්ෂකයෝ පෙළඹෙති. මෙහි දී ඔවුන් පිළිනපත් අලෙවි කර මුදල් ලඟ තබා ගනී. Md2 මගින් එම මුදල් ප්‍රමාණය නිරූපණය කරයි.
අනෙක් අතට වර්තමානයේ r3 වැනි ඉහළ පොළී අනුපාතිකයක් පවතී නම්, පිළිනපත් මිල අඩු ය. මෙහි දී අපේක්ෂා කරනුයේ අනාගතයේ දී පොළී අනුපාතිකය පහළ ගොස් පිළිනපත් මිල ඉහළ යතැයි කියා ය.
මෙවැනි අවස්ථාවක දී, පිළිනපත් මිල දී ගැනීමට සමපේක්ෂකයන් පෙළඹෙන්නේ අඩු මිලට පිළිනපත් ගෙන වැඩි මිලකට අලෙවි කර ප්‍රාග්ධන ලාභයක් ලැබීමේ අරමුණිනි.
එහි දී මුදල් පිළිනපත්වවලට හුවමාරු කරන නිසා මුදල් ශේෂ ලඟ තබා ගැනීම අඩු කරයි. Md1 මගින් එම ප්‍රමාණය නිරූපණය කරයි.
මුදලේ ආවස්ථික පිරිවැය අනුව පොළී අනුපාතිකය හා සමපේක්ෂණ මුදල් ඉල්ලුම අතර සම්බන්ධතාවය
මුදල් ලඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය වන්නේ, අහිමි වී යන පොළී ආදායම යි.
ඉහළ පොළී අනුපාතිකයක් පවතින විට මුදල් ළඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය වැඩි වේ.
මෙහි දී මුදල් ශේෂ ආදායමක් නොලැබෙන ලෙස නිශ්ක්‍රීය ව ළඟ තබා ගැනීම අර්ථවත් නොවන නිසා පොළී ආදායම් ඉපැයිය හැකි වත්කම්වල ආයෝජනය කරයි. එහි දී මුදල් ඉල්ලුම අඩු වේ.
අනෙක් අතට පහළ පොළී අනුපාතිකයක් පවතී නම්, මුදල් ළඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය ද පහළ මට්ටමක පවතී. එවැනි විටක මුදල් ආදායමක් නොලැබෙන ලෙස නිශ්ක්‍රීය ව ලඟ තබා ගනී. එනම් මුදල් ඉල්ලුම වැඩි වේ.
තවදුරටත් පැහැදිලි කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න