මුදලේ පරිනාමය සාම්ප්‍රදායික ක්‍රමවල සිට වර්තමානය වන විට අතිශය විද්‍යුත් ක්‍රමවේදයන් කරා යොමු වී ඇත.
අතීතයේ සිට අද දක්වා මුදලේ පරිනාමය වූ ආකාරය පහත පරිදි අධියරයන්ට බෙදා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි ය.
- භාණ්ඩ හුවමාරු ක්‍රමය
- භාණ්ඩ මුදල්
- ලෝහ මුදල්
- කඩදාසි මුදල්
- ප්ලාස්ටික් කඩ්පත්
- විද්‍යුත් මුදල්
- අතථ්‍ය මුදල්
මුදල් භාවිතා නොවු අවධියේ දී, භාණ්ඩ හා සේවා හුවමාරු වූයේ භාණ්ඩයකට භාණ්ඩයක් වශයෙනි. භාණ්ඩයක් ලබා දී තමන්ට අවශ්‍ය භාණ්ඩ සපයා ගනු ලැබූ ආර්ථිකයක් භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමයක් හෙවත් බාටර් ක්‍රමයක් ලෙස හඳුන්වයි.
බාටර් ක්රමයේ පැවති දුර්වලතා හේතුවෙන්, භාණ්ඩ ලබා ගැනීමට මුදල් වශයෙන් ප්‍රථමයෙන් ගවයන්,දුම්කොළ, සිගරට්, වයින්, මුහුදු බෙල්ලන්, තේ, ලුණු, යකඩ, තඹ, රිදී, රන්, දියමන්ති වැනි විශේෂිත වූ භාණ්ඩ වර්ග බාවිතා කර තිබේ. භාණ්ඩ මුදල් කාලයත් සමග ම රන් හා රිදී ලෝහ වර්ග දෙකට සීමා වූයේ ය.
මෙම ලෝහ ගණුදෙනු සඳහා තැනින් තැනට ගෙනයාම අපහසු වූ නිසා, මෙයට පිළියමක් ලෙස ප්‍රදේශයේ රන්කරුවා ලඟ ලෝහ තබා ඒ වෙනුවට රන්කරු විසින් නිකුත් කරන කුවිතාන්සියක් ලබා ගැනීම සිදු කරන ලදි. එම කුවිතාන්සිය ඕනෑ ම භාණ්ඩක් ලබා ගැනිමට මුදල් ලෙස භාවිතා කිරීමට හැකි විය. අවසානයේ මෙම කුවිතාන්සිය රන්කරුට ලබා දී කුවිතාන්සියේ සඳහන් රන් ප්‍රමාණය කුවිතාන්සිය අතැති පුද්ලගලයාට ලබා ගත හැකි විය.
ඉන් පසු බැංකු ස්ථාපිත විය. රන්කරුවන් ඉටු කළ කාර්යය දැන් බැංකු මගින් ඉටු කරයි. මහජනයා බැංකු වෙත තැන්පතු කළ රන් හෝ රිදී ප්‍රමාණය, නැවත රන්වලින් හෝ රිදීවලින් ගෙවීමේ පොරොන්දුව සහිත ව බැංකු පොරොන්දු නෝට්ටු නිකුත් කිරීමට පටන් ගත්හ. මෙම පොරොන්දු නෝට්ටු මුදල් ලෙස භාණ්ඩ හා සේවා ලබා ගැනීමට බාවිතා විය.
ආරම්භයේ දී බැංකු පොරොන්දු නෝට්ටු නිකුත් කරනු ලැබුවේ තමන් වෙත තැන්පතු කළ රන් හෝ රිදී ප්‍රමාණයට පමණි. කල් යත්ම බැංකුවලට වැටහුණේ තමන් නිකුත් කළ නෝට්ටු රන් හෝ රිදීවලට පරිවර්තනය කිරගැනීමට පැමිණෙන පිරිස බොහෝ සෙයින් සීමිත බවයි.
මේ නිසා තමන් වෙත තැන්පත් කළ රන් හා රිදී ප්‍රමාණයේ වටිනාකම ඉක්මවා නෝට්ටු නිකුත් කිරීමට බැංකු කටයුතු කළහ. ඉන් බැංකු අතිරේක පොලී ආදායමක් උපයා ගත් හ.
මෙලෙස පවතින රන් සංචිත ඉක්මවා මුදල් නෝට්ටු නිකුත් කිරීම භාගික සංචිතයක් මත පදනම් වූ මුදල් ක්‍රමයක් ලෙස හඳුන්වයි. කාලයත් සමග මුදල්වලට රන් පරිවර්තනය සම්පූර්ණ නතර විය.
පසුව රජයේ බැංකුකරු වන මහ බැංකුව මුදල් මුද්‍රණය තමන් වෙත පවරා ගනු ලැබීය. මහ බැංකුව නිකුත් කරන මුදල් හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා අතර ම රට තුළ ඕනෑ ම ගෙවීමක් හෝ පියවීමක් කිරීමට නීතියෙන් වලංගු ය. වටිනාකම නෝට්ටුවේ සඳහන් මෙම මුදල් ආඥප්ති මුදල් හෙවත් වලංගු මුදල් ලෙස හඳුන්වයි.
මහ බැංකුව වර්තමානයේ වටිනාකමින් අඩු මුදල් සඳහා ලෝහ කාසි ද නිකුත් කරනු ලබයි.
පසුව මුදල් ලඟ තබා නොගෙන ගනුදෙනු කිරීමට හැකි පරිදි ප්ලාස්ටික් කාඩ් හඳුන්වා දෙන ලදි. එම කාඩ්පත් මගින් තම බැංකු ගිණුමේ ඇති මුදල වියදම් කිරීමට හෝ ස්වයංක්‍රීය මුදල් නිකුත් කිරීමේ යන්ත්‍ර මගින් ලබා ගැනීමට හැකි විය.
ගනුදෙනු කිරීම සඳහා තවත් නව්‍යතාවයක් ලෙස විද්‍යුත් මුදල් හඳුන්වා දෙන ලදි. මේවා දුරකථන හෝ පරිගණක ආධාරයෙන් අන්තර්ජාලය හරහා මොබයිල් ඇප් හෝ පරිගණක මෘදුකාංග භාවිතයෙන් ගනුදෙනු සිදු කළ හැකි ය.
අප්රකාශිත විද්‍යුත් මුදල් ගණයෙහිලා සැලකිය හැකි මුදල් ප්‍රභේදයක් වන්නේ අතථ්‍ය මුදල් ය. මේවා පෞද්ගලික ආයතන මගින් නිර්මාණය කරන ලද අදෘශ්‍යමාන මුදල් වර්ගයකි. මෙහි ප්‍රධාන මුදල් වර්ගය වන්නේ “බිට්කොයින්” නැමැති මුදල් වර්ගය යි. 2009 වර්ෂයේ දී නිර්මාණය කරන ලද බිට්කොයිනයක අගය ආරම්භයේ දී ඩොලර් 0.10 විය. 2024 වන විට එහි අගය ඩොලර් 73,000 ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් අතථ්‍ය මුදල් ගණුදෙනු සඳහා නීතියෙන් අවසර දී නොමැත.